ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව සැවොම දන්නා කාරණයක්. 20 – 20 තරගාවලිය සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව සිටි මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකු වන උපනායක කුසල් මෙන්ඩිස් , කඩුලු රකින්න ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතික ජෛව ආරක්ෂක බුබුළින් ඉවතට ගොස් රාත්‍රී වීදී සංචාරයක නිරතවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව එංගලන්තයේ සිට නැවතත් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කරනු ලැබුවා. මේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව දෙරණ 24 නාළිකාව සමගින් එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රීඩකයන්ගේ මෙම විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් තමා දැඩි කණගාටුවකින් හා කේන්තියකින් පසුවන බවයි.

” අපි තරගාවලිය ආරම්භ වීමට පෙර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් සාකච්ඡා කරලා තමයි මෙම ජෛව ආරක්ෂක බුබුළ නිර්මාණය කලේ. ලංකාවේ ජෛව ආරක්ෂක බුබුළ වගේම එහෙත් එයින් පිටතට ගමන් කරන්න බෑ. විශාල ක්‍රියාවලියක් තුළයි ජෛව ආරක්ෂක බුබුළ නිර්මාණය කරන්නේ. පන්දුව ඉවතට ගියායින් පස්සේ ඒකවත් අල්ලන්න බෑ. ලංකාවේ ජෛව ආරක්ෂක බුබුලේ පොඩි වෙනසක් තියෙනවා. අපේ බුබුළේ ආරක්ශාවට හිටියේ ආර්මි කමාන්ඩෝස්ලා. අපි එයාලට කියලා තිබ්බේ බුබුළෙන් කෙනෙක් එළියට යන්න හැදුවොත් වෙඩි තියලා හරි නවත්තන්න කියලා. අපි බංග්ලාදේශය ගෙනාවෙත් එහෙමයි මෙහෙට. LPL එක ක්‍රීඩා කලෙත් එහෙමයි. දැන් ඉන්දියා ටීම් එක මෙහේ ඇවිත් තියෙනවා. අපි ජෛව ආරක්ෂක බුබුළ ක්‍රියාත්මක කරන්නේ ඒ විදියටයි. නමුත් එංගලන්තයේ යම් ළිහිල් වීමක් සිදුකළා. සත්කාරකත්වය ලබාදෙන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අවශ්‍ය නම් ඒ අයගේ පවුලේ සාමාජිකයන් අරගෙන එන්න අවස්ථාව ලබා දීලා තිබුණා. නමුත් ඒක සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයන් වශයෙන් අපේ අයට ඒ අවස්ථාව ලබාදීලා තිබුණේ නැහැ. නමුත් ක්‍රීඩකයන්ට යම්කිසි සීමාවක් තුළ ඇවිදින්න අවස්ථාව ලබාදීලා තිබුණා. ඒක ඇළ මාර්ගයක් අසළ තිබුණ ඇවිදින මං තීරුවක් වගේ. ඒකට පිටස්තර පුද්ගලයන් ආපු නැති වෙලාවට මේ අයට ඇවිදින්න ඉඩ ලබාදීලා තිබුණා. නමුත් ඉන් එයායින් පාළමක් තිබුණා. එතනින් එහාට අපේ ක්‍රීඩකයන්ට යන්න ඉඩක් ලබාදීලා තිබුණේ නෑ. මොකද එතනින් එහා තිබුණේ සිටි සෙන්ටර් එක.

ඒක මේ අය දැනගෙන හිටියේ. මට හරි කණගාටුවක් තියෙනවා මේ ක්‍රීඩකයන් ගැන. ඒ අයව අපි වැක්සීන් කලේ ඉන්දීය ක්‍රීඩකයන්ව පවා ඒ රටවල් වලින් වැක්සීන් කරන්න කලින්. මිලියන 69 ක් වියදම් කරලා වෙන් කරන ලද ගුවන් යානයක ආරක්ශාවක් යටතේ තමයි අපි ඒ අයව එංගලන්තයට යැව්වේ. මම හරි ආදරෙයි ක්‍රීඩකයන්ට. කවදාවත් මම ඒ අයව විවේචනය කරන්නේ නෑ. හැබැයි දැන් අපේ තත්වය මොකක්ද ? අපට එංගලන්තය එක්ක කතා කරන්න පුළුවන් ද ? ඒ ක්‍රීඩකයන් තුන්දෙනාව ගෙන්න ගන්න අපට එංගලන්තයෙන් බාධාවක් තිබුණේ නෑ. ඒ අයටත් ඕනී වෙලා තිබුණේ ඉක්මනටම එහෙන් ඒ අයව පිටත් කරන්න” යැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here