බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පළමු 20 – 20 තරගයට ඔවුන් සහභාගි විය. තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක ටීම් සවුති ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර නවසීලන්තය වෙනුවෙන් කයිල් ජේමිසන් හා ඩෙවෝන් කොන්වේ 20 – 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු යුගල වන ඇන්ඩෘ ෆ්ලෙචර් හා බ්‍රෙන්ඩන් කිං වේගවත් ආරම්භයක් ලබාදෙමින් පන්දු විස්සක් තුළදී ලකුණු 58 ක් පළමු කඩුල්ලට එක් කිරීමට සමත්වුහ.

පළමු කඩුල්ල ලෙස ෆ්ලෙචර් ලකුණු 34 කට දවාගැනීමට ලුකී ෆර්ගසන් සමත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පුවරුවට තවත එක් ලකුණක් පමණක් එක්වනවිට ඔවුන්ගේ කඩුලු 05 ක් දවා ගැනීමට ලුකී ෆර්ගසන් හා නායක ටිම් සවුති සමත්වුහ.

ගරාවැටුණු බටහිර ඉන්දීය කොදෙව් ඉනීම ගොඩනැංවීමේ වගකීම කරට ගත් නායක කිරන් පොලාඩ් හා ෆේබියන් ඇලන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලකුණු පුවරුව ගෞරවනීය ලකුණු සංඛාවක් කරා රැගෙන යමින් හයවන කඩුල්ල සදහා පන්දු 45 කදී ලකුණු 84 ක් එක් කිරීමට සමත්විය. මෙහිදී ෆේබියන් ඇලන් පන්දු 26 කදී ලකුණු 30ක් ලබාගත් අතර නායකත්වයේ විශිෂ්ඨ ඉනීමක් දියත් කළ කිරන් පොලාඩ් පන්දු 37 කදී නොදැවී ලකුණු 75 ක් ලබාගත්තේ හයේ පහර 08 ක් හා හතරේ පහර 4ක් සමගිනි. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එක් පිලකට පන්දුවාර 16 ක් පමණක් හිමිවූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම පන්දුවාර සංඛාව තුළදී ලකුණු 180 ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ලුකී ෆර්ගසන් ලකුණු 21 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත්විය.

ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව නවසීලන්තයට පන්දුවාර 16 කදී ලකුණු 176 ක ඉලක්කයක් හිමිවූ අතර නවසීලන්ත ඉනීමේ ප්‍රථම පන්දුවාරයේදීම මාර්ටින් ගප්ටිල් දවා ගැනීමට ශෙල්ඩන් කෝට්‍රල් සමත්විය. අනතුරුව ටිම් ශෙයිෆ්‍රට් හා ග්ලේන් පිලිප්ස් දවාගැනීමට ඔෂේන් තෝමස් සමත්වූ අතර ලකුණු ලබාගැනීමට ප්‍රථමයෙන් රෝස් ටේලර් දවාගැනීමට ෆේබියන් ඇලන් සමත්විය.

බිඳ වැටුණු නවසීලන්ත ඉනීමට ජීවයක් එක් කිරීමට සමත්වූ ඩෙවෝන් කොන්වේ හා ජිමී නීෂම් ලකුණු 77 ක සම්බන්ධතාවක් පස්වන කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත්විය. මෙහිදී විශිෂ්ඨ පිතිකරණයක නිරත්වූ කොන්වේ ලකුණු 41ක් ලබා ගැනීමට සමත්විය. ඉන් අනතුරුව නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය මිචෙල් සැන්ට්න‍‍ර් හා ජිමී නීශම් නොබිදුණු ලකුණු 39 ක සබඳතාවක් එක්කරමින් පන්දු හතරක් ඉතිරිව තිබියදී නවසීලන්තයට කඩුළු නවසීලන්තයට කඩුළු 5ක ජයග්‍රහණයක් ලබා දීමට සමත් වූහ.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ජිමී නීෂම් පන්දු 24 කදී ලකුණු 48 ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් මිචෙල් සැන්ට්න‍‍ර් ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය. මේ අනුව තරග තුනකින් සමන්විත 20 – 20 තරගාවලිය 1 – 0 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවේ. කඩුලු 05ක් දවාගත් ලුකී ෆර්ගසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here