2007 වසරේ සිට දත කමින් ක්‍රිකට්හී අභිමානවත් ලෝක කුසලානයක අභිෂේකය සෙවූ දූපතක කළු තොප්පිකාරයින් පිරිසක් කෙසේ හෝ වසර ගණනක වෑයම සාර්ථක කර ගත්හ.

ස්ටීවන් ෆ්ලෙමිංගේ නායකත්වය යටතේ සැදුණු නවසීලන්ත නව ක්‍රිකට් 2007 වසරේ අයි සී සී විස්සයි විස්ස සහ එක්දින කියන ලෝක කුසලානයන් ද්විත්වයේම අවසන් පූර්ව වටයට සුදුසුකම් සපුරා ගන්නේ ඔවුන්ගේ පිඹිදීමේ කොළ එළිය මීට වසර 14 කට පෙර සිදු වෙමින් ය.

මා එසේ පවසන්නේ එකී වෑයම 2007න් අවසාන නොවූ හෙයිනි. නැවතත් 2011 අයි සී සී එක්දින ලෝක කුසලානයේ ඩැනියල් විටෝරිගේ නායකත්වය යටතේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් සපුරාගත් කළු තොප්පිකාරයින්ට එතැන් පටන් 2011 ගමන හමාර කරන්නට විය.

කෙසේ නමුත් නව නායකත්වයක් සමගින් 2015 අයි සී සී ලෝක කුසලානය සදහා සහභාගි වූ මැක්ලම්ගේ ආක්‍රමණශීලී කළු තොප්පිකාරයින් සටන්කාමී ලෙස අවසාන මහා තරගයේ ආසනය වෙන් කර ගන්නේ මැක්ලම්ගේ නායකත්වයේ විශිෂ්ඨත්වය සහ මෙතෙක් කල් තිබූ නවසීලන්ත ක්‍රිකට් හී දැකුම්කළු පිඹිදීමක රහස මැක්ලම්ගේ ආක්‍රමණශීලී නායකත්වය වටා ගෙතෙමිනි.

(Photo credit should read SAEED KHAN/AFP via Getty Images)

කෙසේ නමුත් එවරද අවාසනාවන්ත ලෙස අසල්වැසි කැන්ගරු දඩයමට බිලි වූ නවසීලන්ත ගමන්මග අනුශූරතාවයෙන් සෑහෙද්දී නැවතත් 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය දක්වා නවසීලන්ත කන්ඩායම ‍රැගෙන යන්නට කේන් විලියම්සන් හට හැකි විය.

2019 වසරේ පැවති ලෝක කුසලානයේ අවසාන මහා තරගය කරා රැගෙන ආ විලියම්සන් අවාසනාවන්ත ලෙස එංගලන්ත කිරුළු දරද්දී සිනහා කඳුළින් වසර ගනනක ලෝක කුසලාන සිහිනයේ බලාපොරොත්තු පිසදා ගන්නේ එකී බලාපොරොත්තු කිසි විටෙකත් අත නොහැර ය.

2015 න් පසූ මැක්ලම්ගේ විශිෂ්ඨ නායකත්වය යටතේ ප්‍රභල වූ නවසීලන්තය කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ ලෝකයේ අති බිහිසුණු කන්ඩායමක් වන්නට පටන් ගත්හ.

එනිසාම විලියම්සන්ගේ නායකත්වය යටතේ අවසන් මහා තරග දෙකකට සහ අවසන් පූර්ව තරගයකට මෙම කෙටි කාලය තුල ලගා වන්නට කළු තොප්පිකාරයින්ට හැකි විය.

කිවි පක්ෂියාගේ මෙම නැගී සිටීමට ප්‍රභල හේතුවක් ලෙස එකී කළමනාකරණය කිව හැක.

කටුස්සන් පාට මාරු කරනවා සේ නායකත්වය මාරු කරේ නැත.ෆ්ලෙමිං,විටෝරි, විලියම්සන් වැනි කාලාන්තරයක් නායකත්වය ලබා දෙන ස්ථීර නායකයින් ඔවුන් සොයා ගත්තේ ය.

ක්‍රීඩකයිද එසේ ය. 2014,2015 ලෝක කුසලාන හී සහභාගි වූ තරුණ ක්‍රීඩකයින් අද ක්‍රමයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් හී මෝරා අද ඔවුන්ගේ කන්ඩායමේ ප්‍රභල තුරුම්පු වී ඇත.

(Photo credit should read DIBYANGSHU SARKAR/AFP via Getty Images)

එනිසාම 2021 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසාන මහා තරගයටද ක්‍රීඩා කරන්නට නවසීලන්තයට හැකි විය.

මෙකී ටෙස්ට් ලෝක ශූරතාවය කාලය තුල නවසීලන්තය භාවිතා කර ඇත්තේ ක්‍රීඩකයින් 22නෙක් පමණි.එයින්ම ඔවුන්ගේ ක්‍රිකට් හී පරිණත බව අපූරුවට වටහා දෙන්නේ ය.

ඩෙවෝන් කෝන්වේ නම් විස්සයි විස්ස ක්‍රීඩකයා විස්සයි විස්සේ අති සාර්ථක වූ පසු ක්‍රමයෙන් ටෙස්ට් පිටියට සම්බන්ධ කරන්නේ ටෙස්ට් ලෝක ශූරතාවයේ ඔහුගෙන් උපරිම ඵල ගන්නා සේ ක්‍රීඩකයා මනාව කළමනාකරණය කරමින් ය.

තවද විල් යංග් වැනි ක්‍රීඩකයින් සංචිතය තුල තබා ගනිමින් ක්‍රමයෙන් ඔවුන්ගේ හැකියාවට ඉඩක් ලබා දෙමින් සංචිතය තුල රදවා සිටින්නේ නවසීලන්ත ක්‍රිකට් අනාගතයද සකසමින් ය.මන්ද රෝස් ටේලර් නොබෝ දිනකින් ක්‍රිකට් වලට ආයූබෝවන් කියනු ඇත.එකී පුරප්පාඩුව සදහා ඔවුන් මේ වනවිට විල් යංග් වැනි පිතිකරුවන් තනමින් සිටින්නේ ය.

විස්සයි විස්ස තරග වලටත් එසේ ය.මාටින් ගප්ටිල්ලාගෙන් පසු යුගයට ෆින් ඇලන්ලා හුරු කරමින් සිටින්නේ ය.

ඔවුන්ගේ කන්ඩායමේ අප රටේ මෙන් ආරම්භක පිතිකරුවන් පස් හය දෙනෙකුගෙන් කන්ඩායමේ මුල මැද සකසා නැත.මුල් පෙලට විශේෂඥ මුල් පෙල පිතිකරුවන් සහ මැද පෙල සදහාද විශේෂඥ මැදපෙල පිතිකරුවන් යොදවා ඇත.යම් ක්‍රීඩකයෙන් වෙනුවට ආදේශයක් කර හොත් ඔහුද එම ආදේශක ස්ථානයේ විශේෂඥයෙක් ය.

ඔවුන්ගේ ක්‍රිකට් හී ඇති ගුණාත්මක දේ ” හරි තැනට හරි ක්‍රීඩකයින් ආදේශ කිරීම මෙන්ම හරි වේලාවේදි හරි තීරණ ගැනීම ය.”

එම තීරණ සහ එම ආදේශන කොතරම් සාර්ථක වූවාද කිවහොත් ෆ්ලෙමිං සහ විටෝරි උත්සහ කල බ්‍රෙන්ඩන් මැක්ලම් වෙනමම ලෙවල් එකකට තැනූ නවසීලන්ත ක්‍රිකට් විලියම්සන් අද කිරුළු පලදමිජ් සිටින්නේ ය.

වසර ගණනක කැපවීම් සහ මහන්සියේ ප්‍රතිඵල අද විලියම්සන් නවසීලන්ත ක්‍රිකට් වලට ලබා දෙන්නට අතිවිශිෂ්ඨ විය.

මංගල ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසාන මහා තරගයය වර්ෂාවෙන් බාධක පැමිණෙද්දී විටෙක තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වේදෝ ඉගි පහල විය.

කෙසේ නමුත් ජෙමිසන් , සවුති බෝල්ට් සහ වැග්නර් නම් අතිවිශිෂ්ඨ පන්දු යවන්නන් තිදෙනාගේ ආක්‍රමණය මත ඉන්දීය පලමු ඉනිම ලකුණු 217කට සීමා කරන්නේ ය.

ඉන් පසුව නවසීලන්ත ක්‍රිකට් හරි අපූරුවට පරිස්සමින් මංගල ටෙස්ට් ක්‍රිකට් මංගල්‍යයට කැන්දාගෙන ආ අපූරු මනමාලයා කෝන්වේ පිත්තෙන් එකී මංගල්‍යය ද ජයටම සමරන්නේ කන්ඩායමේ නැංගුරම වෙමින් විශිෂ්ඨ අර්ධ ශතකයක් ලබා ගනිමින් නවසීලන්ත පිලෙහි අඩිතාලම කෝන්වේ වටා සකසමින් ය.කෙසේ වෙතත් ලකුණු 249කට සියල්ලන් දැවී ගිය නවසීලන්ත ඉනිමෙන් පසු නැවතත් දෙවෙනි ඉනිම දියත් කල ඉන්දියාව අන්ත අසාර්ථක වන්නේ ලකුණු 170ක් තුල සියල්ලන් දැවී යමිනි.

තරගයේ අවසාන දිනයේ ඉන්දීය කඩුලු 8ක් දැවී ගිය අතර ජෙමිසන් විසින් ආරම්භ කල කඩුලු දඩයම සවුති සහ බෝල්ට් විසින් ඉදිරියට රැගෙන ගියේ ය.

ඉන් අනතුරුව ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්තයට ආරම්භය එතරම් සුභ වූයේ නැත.ක්‍රියාත්මක වූ රවිචන්ද්‍රන් අශ්වින් නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට යැවූ ඔහු නැවතත් මදකට තරගය විවෘත කරේ ය.

කෙසේ නමුත් හෝම් ට්‍රැක් බුලී ලෙස හංවඩු ගැසූ සිය දේශයේදී පමණක් භයානක වූ විලියම්සන් මෙවර අවශ්‍යම මොහොතේදී සිය හැකියාව කොතරම්ද කියා පෙන්වමින් ඉන්දීය ක්‍රිකට් පිලට භයංකර තත්ත්වයක් උදා කරන්නට සමත් විය.මෙම ඉනිමත් සමගම හෝම් ට්‍රැක් බුලී ලෙස හංවඩු ගැසූ විලියම්සන් හට එකී ලේබලය නොසුදුසු බව ඔහුගේ පරිණත ඉනිමෙන් දිස් විය.ලෝක ශූරතාවයක් සිය රටට ලබා දෙමින් වසර ගණනක් කර ක්‍රීඩා කෞෂල්‍යයට ආයූබෝවන් කියන්නට බලා සිටි රෝස් ටේලර් මෙම අවස්ථාව උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත්තේ ය.දෙදෙනාගේ නොබිඳුනු සම්බන්ධයෙන් පහසුවෙන්ම ලකුණින් ලකුණ එකතු කරමින් ක්‍රිකට් වංශකතාවේ කළු තොප්පිකාරයින්ගේ හොදම කෙරුවාව එංගලන්තයේ රෝස් බෝල් පිටියේදි පෙන්වීය.

(Photo by Alex Davidson/Getty Images)

ක්‍රිකට් බිහි කල එංගලන්ත මව් දේශයේ සීතල සුළං පහස විදිමින් රසබර බියර් වීදුරුවක් පානය කරමින් ටෙස්ට් ක්‍රිකට් හී නියම රසය බෙදා ගැනීමට එක්‍ වූ ප්‍රේක්ෂකයන් හට අපූරු තරගයක් දැක බලා ගැනීමට සලස්වමින් මෙතෙක් වෑයම් කල කිවි පක්ෂියාගේ සොඳුරු දඩයම ක්‍රිකට් හී අග්‍ර තැන හිමි වෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම මංගල ලෝක ශූරතාවය දිනා ගනිමින් එතෙක් මෙතෙක් නවසීලන්ත ක්‍රිකට් වංශකතාවේ ඓතිහාසික පරිච්ඡේදයක් එසේ ලියන්නට 2021 ජූනි 23 දින සැදෑ සමයේදී විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කළු තොප්පිකාරයින්ට හැකි විය.

එකී ශ්‍රේෂ්ඨ කුසලානය නවසීලන්ත ක්‍රිකට් ශ්‍රේෂ්ඨත්වයට මෙතෙක් කලක් හානි කරවූ ලෝක කුසලානයක පිපාසය සංසිදවමින් නවසීලන්ත ක්‍රිකට් මුදුනටම කැන්දාගෙන යන්නට තරම් සමත් විය.

ඒ අනුව අවාසනාවන්ත කළු තොප්පිකාරයින්ගේ රාහූ කාලය අවසන් වෙමින් ක්‍රිකට් ‍රාජාභිෂේකය ලබමින් කළු තොප්පිකාරයින්ද සිංහාසනයේ අද කිරුළු පළඳමින් රජ කරන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here