අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් 2022 වසරේදී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ නිළ තරග කාලසටහන ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 12 වන වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය 2021 වසරේදී පැවැත්වීමට සැලසුම් කොට තිබුණද පවත්වන ගෝලිය කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් එය 2022 වසර දක්වා කල් දැමුණා.

තරගාවලිය මාර්තු මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර අප්‍රේල් මස 3 වනදා එහි අවසන් මහා තරගය ක්‍රයිස්චර්ස්හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියට තරග 31 ක් ඇතුළත් වන අතර එම තරග 31 තුළ දිවා රාත්‍රී තරග 17 ක් ඇතුළත් තිබීම කැපීපෙණෙනවා.

පුරා දින 31 ක් පුරාවටම නවසීලන්තයේ නගර 06 ක් කේන්ද්‍රකොට ගෙන පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග රූපවාහිනිය ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් නිවේදනය කොට තිබෙනවා.


සත්කාරක නවසීලන්තය සමගින් ඉන්දියාව , දකුණු අප්‍රිකාව , ඕස්ට්‍රේලියාව හා එංගලන්තය යන කණ්ඩායම් 4 මේ වනවිට තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන් අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ වටයේ මුල් ස්ථානයන් ත්‍රිත්වය දිනා ගන්නා කණ්ඩායම් 03 සමගින් කණ්ඩායම් 08 ක් 2022 ලෝක කුසලානය වෙනුවෙන් තරග කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය ජූලි 03 වනදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ගෝලීය කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණා. එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් තරග වදින අතර බටහිර ඉන්දීය කොදෙව් , පාකිස්තානය , ශ්‍රී ලංකාව , බංග්ලාදේශ සමගින් තවත් කණ්ඩායම් 06 ඒ සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here