මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් ඊයේ පැවති තරගය ලකුණු 20 කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා. ඊයේ තරගයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා හා හර්දික් පාන්ඩයා ක්‍රීඩා නොකල අතර තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සදහන් කර සිටියේ ඔවුන් දෙදෙනාගේ තත්වය බරපතළ නොවන බවයි.

” රෝහිත් දැල් තුළදී හොදින් පන්දුවට පහරදෙනවා. ඒ වගේම ශාරීරික අභ්‍යාස වල නිරත වෙනවා. එංගලන්ත තරගාවලිය අවසන් වෙලා පැමිණි නිසා ඔහුට යම්කිසි විවේකයක් අවශ්‍ය බව අපි තීරණය කළා. ඔහු ඊළග තරගය ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. හර්දික් පාන්ඩයාගේ යම්කිසි ආබාධයක් තිබෙනවා. නමුත් එය බරපතළ තත්වයක් නොවෙයි” යනුවෙන් මහේල සදහන් කර සිටියා.
එසේම ඊයේ තරගය පරාජයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල සදහන් කර සිටියේ ඉනීම පුරාවටම පන්දුවට පහරදීමට පිතිකරුවෙක් නොමැතිවීම ඊයේ තරගයේ පරාජයට ප්‍රධාන හේතුව බවයි.

” අපි ඉතාමත් පහසු දැවීයාම් කිහිපයක්ම චෙන්නායි කණ්ඩායමට ලබාදුන්නා. එය නොවියයුතු දෙයක්. අපට අවශ්‍යයි වගකීම අරගෙන ඉනීම පුරාවට පන්දුවට පහරදීමට හැකි අයෙක්. එවැනි කෙනෙක් ඊයේ අපේ කණ්ඩායමේ සිටියේ නෑ. එයයි අපේ කණ්ඩායම හා චෙන්නායි කණ්ඩායම අතර මම දැක්ක ප්‍රධාන වෙනස. ඇත්තටම කණගාටුවට පත්වෙනවා ඊයේ දින අපේ පිතිකරුවන් පීඩනය හසුරවපු ආකාරය පිළිබඳව” යනුවෙන් මහේල සදහන් කර සිටියා.1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here