” මහානාම ලකුණු 10 ක් ලබාගත හොත් මම මගේ කලිසම ගලවනවා ” එදා සනත් සමගින් ලෝක වාර්තාව පිහිටවූ තරගයට පෙර මම පිළිබඳව ඒවකට ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජිකයෙකුගේ මතය වෙලා තිබුනේ මේක.මම පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටුව තුළ තිබූ ආකල්පය නිසා මගේ එකම ද්විත්ව ශතකය ලබා ගනිමින් ලෝක වාර්තාවට දායක වීම පිළිබඳව මට තිබුණේ සතුටකට වඩා දුකක් කණගාටුවක් කෝපයක්.

එදා තරඟයේ දෙවන දිනයේ අවසන් පන්දුවාරයේදී මාවන් අතපත්තු දවා ගැනීමට නිලේෂ් කුල්කාර්නි සමත්වුණා.මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගයේ මංගල පන්දුවාරයේදීම සිදු කිරීම හේතුවෙන් කුල්කාර්නි විශේෂිත පන්දු යවන්නෙකු වුණා.මාවන්ගේ දැවී යාමත් සමගින් දෙවන දිනයට තරගය අවසන් වුණා.සනත් නොදැවී ලකුණු 12ක් ලබා ගෙන සිටි අතර ඔහු සමගින් පසුදා උදෑසන පන්දුවට පහර දීමට යාමට තිබුණේ මටයි.

කණ්ඩායම් දෙකම ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන සිටි අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට මගේ නිවසට විනාඩි 10 ක පමණ දුරක් තිබුන නිසා සනත් සමඟින් මම ගෙදර ගිහිල්ලා රාත්‍රී ආහාරය ලබා ගත්තා.ඒ එන අතරවාරයේදී පාර අසල හිටපු කෙනෙක් සනත් මටත් කෑගහලා කිව්වා සනත් ලකුණු 100 යි රොෂාන් ලකුණු 100 යි කියලා. අපි දෙන්නම හිනාවෙලා ඔහුගේ ප්‍රාර්ථනව ඉටුවේවා කියලා එතනින් ආවා.

තෙවන දිනයේ උදෑසන කාලය මට එතරම් යහපත්වුණේ නෑ.මගේ කායික ශක්තියත් බොහෝම අඩුවෙන් තිබුණ මොහොතකදී ඉන්දීය නායකයා පන්දු රකින්න අපේ අසලම රදවමින් අපට පීඩනය යොමුකළා. ඔහුට එලෙස පන්දු රකින්නන් අප අසලම නොබියවම රැදවීමට තරම් අවශ්‍ය ලකුණු පුවරුවක් ඔවුන්ට තිබුණා

ඉනීමක පරාජයකින් බේරීමටම ලකුණු 337 ක්

මම ලකුණු 50 පසු කිරීමත් සමගම මට ආත්ම විශ්වාසය ඇතිවුණා.විශේෂයෙන්ම එක් අන්තයක හිටපු සනත් ඉන්දීය පන්දු යවනන්ට හොදින් පහර දීමත් නිසා මම ඉතාම විශ්වාසයකින් යුක්තව පන්දු රකින්නන් පරදවමින් පන්දුව ඔවුන් අතරින් යොමුකිරීමට සමත්වුණා.

තරගයේ තෙවන දිනය අවසන් වනවිට සනත් ලකුණු 175 ක් හා මම ලකුණු 115ක් ලබාගෙන එක් කඩුල්ලකට ලකුණු 332ක් ලබාගෙන සිටියා.මම මගේ සිව්වන ටෙස්ට් ශතකය ලබාගත්තේ වෙන්කටේශ් ප්‍රසාද්ගේ පන්දුවකට පුල් පහරක් හතරේ සීමාව වෙත යොමුකරමින්.

තෙවන දිනය අවසන් වනවිට අරවින්දගේ මුහුණේ විශාල සිනහවක් තිබුණා.ඔහු දිනය පුරාම පා ආවරණ පැළදගෙන සිටියත් මම ලබාගත් ශතකය ඔහුව ඉමහත් ප්‍රීතියකට පත්කොට තිබුණා.විශේෂයෙන්ම කුඩා කාලයේ ඉදන්ම මගේ මිතුරා වුණ අරවින්දට මට ක්‍රිකට් දිවියේ විදීමට සිදුවූ දුක්ගැහැට ගැන හොද අවබෝධයක් තිබුණා.

එසේම දිනයක් පුරා මම කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහරදීම පිළිබඳව ඇලෙක්ස් කුන්ටෝරිද ඉමහත් සතුටට පත්ව තිබිණා.ඇලෙක්ස් අපේ ශාරීරික යෝග්‍යතාව යහපත්ව තබා ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකරපු කෙනෙක්.

තරඟයේ සිව්වන දිනය වනවිට තණතීරුව තවදුරටත් පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තිබුණා.නමුත් අධික ආර්දතාවය නිසා ඇලෙක්ස් අපට නිතරම වතුර පානය කිරීමට දුන්නා.උණුසුම කොතරම්ද කිවහොත් විවේක කාලය තුළ අප ගලවා එල්ලන දහඩිය තැවරුණු කමිස විවේක කාලය අවසන් වෙලා නැවතත් තරගය ආරම්භ වනවිට හොඳින් වේළී තිබුණා.

සිව්වන දිනය අවසන් වන විට අප දෙදෙනා එකතුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 587 ක් දක්වා රැගෙන ගියේ සනත් ඉදිරියේ ලකුණු 326ක් හා මගේ නම ඉදිරියේ ලකුණු 211 ක් සටහන් කරමින්.පුරා දින දෙකක් අප දෙදෙනා ක්‍රීඩා කළද වෙනදා මෙන් කෙන්ඩා පෙරලීමක් හෝ ඇති නොවූ අතර තව දුරටත් ක්‍රීඩා කිරීමට අපහසු බවක්ද දැනුණේ නෑ.

තරඟයේ පස්වන දිනය ආරම්භ වනවිට මගේ ප්‍රධානම කාර්යය සනත්ව ලාරාගේ ලෝක වාර්තා වෙත යොමු කිරීම.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගනයේ දොරටු සියල්ල නොමිලේ විවෘත කරලා තිබුණ නිසා 30 000 කට අධික ජනතාවක් ක්‍රීඩාංගණයට එක් රැස්වෙලා හිටියා.සමහරු ගස් උඩට වෙලා තරගය නැරඹීමට සූදානම් වෙලා හිටියේ.

අපට සුපුරුදු අන්දමින් ක්‍රීඩා කළ යුතු බවත් අර්ජුන ඉනිම අවසන් නොකරන බවත් තරඟයට පෙර අපට දන්වා සිටියා. ” සනත් ඔබට එය කළ හැක” හැමෝම ඇවිත් සනත්ට එහෙම කියලා සුභ පතලා ගියා. නමුත් මම නම් ඒක දැක්කේ ඔහුට කරපු අනවශ්‍ය පීඩනයක් විදියටයි.

මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව කඩුල්ලේ රැඳී සිටිමින් සනත් ද පුළුවන් උපරිම සහායක් ලබා දුන්නා.කිසියම් අවස්ථාවක ඔහුගේ අවධානය අඩු වනවිට නැවතත් සනත් තරගයට ගෙන එමින් ලාරාගේ ඉලක්කයට ඔහුව යොමුකළා.

හතරේ පහර කිහිපයක් එල්ල කරමින් ඉනීම ඇරඹුවත් අනිල් කුම්බ්ලෙ ගේ පන්දුවක් මගේ පා ආවරණයේ දැවටී කඩුල්ල මුවා කිරීමේ වරදට මම හසුවුණා.ඒ සමගින් විනාඩි 753 ක් පුරාවට පන්දු 1103 කදී සනත් සමගින් ගොඩනැගූ ලකුණු 576ක වාර්තාගත සම්බන්ධතාවය අවසන් වුණා.

ක්‍රීඩාගාරය වෙත පැමිණ මා මගේ පා ආවරණ ගලවා ඉතාමත් සුළු වේලාවකින් ක්‍රීඩා පිටියේ විශාල ඝෝෂාවක් ඇසුණා.

සනත් ආපසු එමින් ඉන්නවා.

ඊළඟ පන්දු වාරයේ පළවෙනි පන්දුවෙන්ම සනත් දැවීගිහින්.අප කණ්ඩායමේ සෑම දෙනාගේම දෑස් කඳුළින් තෙමී ගියා.විශාල නිහඬතාවක් අපේ ක්‍රීඩක විවේකාගාරය පුරාවටම තිබුණා.

ලකුණු 340 කට දැවීගිය සනත් ටික වේලාවකින් මම ලගට ඇවිත් මචං උබ හිටියා නම් රෙකෝඩ් එකට යන්න තිබ්බා කියලා මාව බදාගත්තා.

සනත්ටත් ශ්‍රී ලංකාවටත් ලැබිය යුතු වාර්තාවක් මා විසින් අහිමි ක‍රාද යන ප්‍රශ්නාර්ථය සැමදා මගේ සිත තුළ ඉතිරි කරමින් නියමිත වේලාවට පැය භාගයකට කලින් ඉන්දීය කණ්ඩායමේ ඉල්ලීමකට අනුව තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here