සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර දෙවන 20 – 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයග්‍රහණයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඩ් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර දෙපිලම එක් වෙනස්කම බැගින් සිදුකරමින් තරගයට සහභාගී විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කයිල් මේයස් හට 20 – 20 ජාත්‍යන්තර වරම් හිමිවූ අතර නවසීලන්තය හමීෂ් බෙනට් වෙනුවට ඉෂ් සෝදි කැදවා තිබුණි.

නවසීලන්ත ආරම්භක පිතිකරු යුගල වන මාර්ටින් ගප්ටිල් හා ටිම් ශෙයිෆ්‍රට් පළමු කඩුල්ල සදහා ලකුණු 49 ක් එක් කරන ලදි. පළමු කඩුල්ල ලෙස දකුණු 13 ක් ලබා සිටී ටිම් ශෙයිෆ්‍රට් දවාගැනීමට ඔෂේන් තෝමස් සමත්වූ අතර ලකුණු පුවරුව ලකුණු 53 ක් වනවිට ලකුණු 34 ක් ලබා සිටි මාටින් ගප්ටිල් දවා ගැනීමට ෆේබියන් ඇලන් සමත්විය.

ඉන් අනතුරුව පිටියට එක්වූ නවක ක්‍රීඩක ඩෙවෝන් කොන්වේ හා ග්ලේන් පිලිප්ස් බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවනන්ට අනුකම්පා විරහිත පිතිහරඹයක නිරතවෙමින් තෙවන කඩුල්ල සදහා ලකුණු 184 ක සබධතාවයක් එක් කිරීමට සමත්වූහ. මෙම සබඳතාවය සටහන් වූයේ 20 – 20 ජාත්‍යන්තර පිටිය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තාවූ පස්වන හොඳම ලකුණු සම්බන්ධතාවය ලෙසට හා ආරම්භක පිතිකරුවෙක් නොවන ක්‍රීඩකයන් දෙපළක් වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසටය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ග්ලේන් පිලිප්ස් පන්දු 46 කදී සිය මංගල 20 – 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ අතර එය සටහන් වූයේ නවසීලන්තය වෙනුවෙන් 20 – 20 ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩකයෙකු වාර්තා කල වේගවත්ම ශතකය ලෙසටය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ඩෙවෝන් කොන්වේ පන්දු 35 කදී නොදැවී ලකුණු 67 ක් ලබා ගැනීමට සමත්විය. පිලිප්ස් තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී දැවීගිය අතර ඔහු දැවීයනවිට පන්දු 51 කදී හතරේ පහර 10 ක් හා හයේ පහර 08 ක් සමගින් ලකුණු 108 ක් ලබා ගැනීමට සමත්ව තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 03 ක් දැවී ලකුණු 238 ක දැවැන්ත ලකුණු සංඛාවක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ලකුණු 238 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං ලකුණු නොළඹා පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට කයිල් ජේමිසන් සමත්විය. ඉන් අනතුරුවද කිසිදු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෙකුට ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වනවිට කඩුලු 04 ක් බිද හෙළීමට සමත්ව තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කිරන් පොලාර්ඩ් ලකුණු 28 ක් ලබාගත් අතර නැවත වරක් නිකලස් පූරන් , ශිම් රෝන් හෙට්මයර් අසාර්ථක වීම කැපී පෙණුනි.

පන්දු යැවීමේදී සාර්ථක පන්දු යැවීමක නිරත්වූ කයිල් ජේමිසන් ලකුණු 15 කට කඩුලු 02 ක් දවා ගැනීමට සමත්විය. නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 09 ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණක් වන අතර ඒ අනුව දෙවන තරගයෙන් ලකුණු 72 ක ජයග්‍රහණයක් නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here