සංචාරක පකිස්ථාන කණ්ඩායම හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත වන 20 – 20 තරගාවලියේ පළමු 20 – 20 තරගය ඊඩ්න් පාරක් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. දෙපිළම සිය නිත්‍ය නායකයන් වන බාබර් අසාම් හා කේන් විලියම්සන් නොමැතිව තරගයට පිවිසි අතර පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ශදාබ් ඛාන් විසින්ද නවසීලන්තය කණ්ඩායම මිචෙල් සැන්ට්න‍‍ර් විසින්ද මෙහෙයවනු ලැබීය.


කේන් විලියම්සන්ට අමතර ට්‍රේන්ට් බෝල්ට් , ටීම් සවුති , ඩැරල් මිචෙල් , කයිල් ජේමිසන් සහභාගි නොවූ අතර ආබාධයක් හේතුවෙන් ලුකී ෆර්ගසන් හට තරගාවලිය අහිමිව ඇත. එසේම නවසීලන්තය වෙනුවෙන් ජේකබ් ඩෆී 20 – 20 වරම් දිනා ගැනීමට සමත්විය.

පාකිස්තාන ආරම්භක පිතිකරු යුගල වන මොහොමඩ් රිස්වාන් හා අබ්දුල්ලා ශෆීක් දවා ගැනීමට සිය මංගල තරගයට ක්‍රීඩා කරන ජේකබ් ඩෆී සමත්විය.

ඉන්පසුව පාකිස්තාන කණ්ඩායමේ ජේෂ්ඨතම පිතිකරු වන මොහොමඩ් හෆීස් ලකුණු ලබා ගැනීමට පෙර පළමු පන්දුවෙන්ම දවා ගැනීමට නැවතත් ක්‍රියාත්මකවූ ජේකබ් ඩෆී සමත්විය.

ස්කොට් කූගලයින් හමුවේ ලකුණු 3 කට හයිඩර් අලී දැවීයාමත් සමගින් පාකිස්තාන කණ්ඩායමෙ ලකුණු පුවරුව ලකුණු 20 කට කඩුලු 4 ක් ලෙස දිස්විය.
ලකුණු 39 ක් වනවිය කුශ්දිල් ශා දවාගැනීමට ඉෂ් සෝදී සමත්වීමත් තරගයේ සම්පුර්ණ පාලනය නවසීලන්ත කණ්ඩායම වෙතට ලබා ගැනීමට සමත්විය.

ඉන්පසුව ඉමාඩ් වසීම් සමගින් ලකුණු 40 ක් හා ෆයිම් අශ්‍රෆ් සමගින් තවත් ලකුණු 35 ක් එක් කිරීමට පාකිස්තාන නායක ශදාබ් ඛාන් සමත්විය. ලකුණු 42 ක් ලබාගත් ශදාබ් ඛාන් දවාගැනීමට නැවතත් ක්‍රියාත්මකවූ ජේකබ් ඩෆී සමත්විය. අවසන් පන්දුවාර කිහිපය තුළ වේගවත් පිතිහරඹයක නිරතවූ ෆහීම් අශ්‍රෆ් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 09 ක් දැවී ලකුණු 153 ක සටන්කාමී ලකුණු සංඛාවක් කරා ගමන් කිරීමට හැකිවිය. ෆහීම් පන්දු 18 කදී හතරේ පහර 2 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය මංගල 20 – 20 තරඟයට සහභාගීවූ ජේකබ් ඩෆී ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය. ස්කොට් කූගලයින් ලකුණු 27 කට කඩුලු 03 ක් බිදහෙළන ලදි.

ලකුණු 154 ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්තයට එම ඉලක්කය කරා පහසුවෙන් ගමන් කිරීමට ඉඩ ලබානොදුන් පාකිස්තාන ආරම්භක වේග පන්දු යවනන් පාකිස්තාන පළමු කඩුලු 2 ලකුණු 21 ක් තුළ දවා ගැනීමට සමත්වූහ. මාර්ටින් ගප්ටිල් ලකුණු 06 කට හා ඩෙවෝන් කොන්වේ ලකුණු 05 කට ලෙස දැවීගිය පිතිකරුවන් විය. ඉන් පසුව තෙවන කඩුල්ල සදහා ලකුණු 44 ක් එක් කිරීමට ග්ලේන් පිලිප්ස් හා ටීම් ශෙයිෆ්‍රට් සමත්වූහ. එම සම්බන්ධතාවයට තත තබමින් පිලිප්ස් ලකුණු 23 කට දවා ගැනීමට හැරිස් රාවුෆ් සමත්විය.

කෙසේ නමුත් මාර්ක් චෑම්ප්මන් සමගින් ටීම් ශෙයිෆ්‍රට් නවසීලන්ත ඉනීම ගොඩනැංවීමට සමත්වූ අ‍තර සිය සිව්වන 20 – 20 අර්ධ ශතකය වාර්තා කර ගැනීමට ශෙයිෆ්‍රට් සමත්විය. නවසීලන්ත කණ්ඩායමේ ලකුණු 100 ය පන්දුවාර 13 දී වාර්තාවූ අතර අවසන් පන්දුවාර 07 තුළ නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 54 ක් අවශ්‍ය විය.

මාර්ක් චැම්ප්මන් පන්දු 20 කදී ලකුණු 34 ක් ලබාගත් අතර විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ ටීම් ශෙයිෆ්‍රට් පන්දු 43 කදී ලකුණු 57 ක් ලබා ගන්නා ලදි.

පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේදි නියමිත ඉලක්කය කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හැරිස් රාවුෆ් ලකුණු 29 කට කඩුලු 03 ක් දවා ගන්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here