ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්තයත් අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩා කරන 860 වන එක්දින තරගය ලෙසට වන අතර අද තරගය යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් මේ වනවිට එක්දින පිටියේ වැඩිම තරග සංඛාවක් පරාජයට පත්ව සිටින කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වනවා. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 427 ක් පරාජයට පත්ව සිටින අතර ඉන්දීය කණ්ඩායමද එක්දින තරග 427 ක් පරාජයට පත්ව තිබෙනවා. කෙසේනමුත් ඉන්දීය කණ්ඩායම එක්දින තරග 516 ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙන්නේ එක්දින තරග 390 ක් පමණයි. ලකුණු සමව අවසන්ව විසදුණු තරග 5 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තිබෙන අතර විසදුමක් රහිතව අවසන්වූ තරග 37 ක් ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා කර තිබෙනවා.

(Photo by Nathan Stirk – ECB/ECB via Getty Images)

මේ දක්වා ජාත්‍යන්තර පිටියේ වැඩිම ජයග්‍රහණ සංඛාවක් ලබා සිටින කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වන අතර ඔවුන් තරග 579 ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම තරග 516 ක් ජයගෙන මෙහි දෙවන ස්ථානයේ රැදී සිටින අතර තරග 490 ක් ජයග්‍රහණය කළ පාකිස්තානයට තෙවන ස්ථානයත් තරග 404 ක් ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිව්වන ස්ථානයේ හා තරග 390 ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මෙහි පස්වන ස්ථානයේත් රැදී සිටිනවා. ක්‍රීඩා කළ කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය නොකළ එකම කණ්ඩායම නැගෙනහිර අප්‍රිකාව වන අතර ඔවුන් ක්‍රීඩා කළ තරග 03 ම පරාජයට පත්ව තිබෙනවා. අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම මෙම වාර්තාවෙන් ගැලවීමටත් වඩා තරගාවලිය තුළ රැදී සිටීමට අතිශයින්ම ඉවහල් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here