ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අද බොහෝ සෙයින් උණුසුම් දිනයක්. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට පැය 15 කට නොඅඩු නොනවතින ක්‍රිකට් අත්දැකීමක් විදගැනීමට ලැබෙන දිනයක් ලෙස අද හදුන්වාදීමට පුළුවන්. ඒ ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඉන් පසුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එංගලන්තය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යන ක්‍රිකට් තරගාවලීන් 04 හි තරග අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.


මින් පළමු තරගය ලෙස ශ්‍රී ලංකාවේ වේලාවින් අද උදෑසන 9.10 ට පමණ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට ජාත්‍යන්තර එක්දින ලකුණු 11 867 ක් ලබා සිටින විරාට් කෝලි හට වේගවත්ව ලකුණු 12 000 සීමාවට ලගාවීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 133 ක් පමණයි. ඉනීම් 239 ක් ක්‍රීඩා කොට තිබෙන කෝලිට බිද හෙළීමට ඇත්තේ ඉනීම් 300 කදී ලකුණු 12 000 ක ලබාගත් සචින් තෙන්දුල්කාර්ගේ වාර්තාවයි. එසේම නව්දීප් සයිනි ආබාධයකට ලක්වීම නිසා ඉන්දීය 20 – 20 සංචිතයට කැදවූ තංගරාසු නටරාජන් එක්දින සංචිතයටද කැදවා තිබෙනවා. තරගය අද උදෑසන 9.10.සිට සෝනි සික්ස් හා ටෙන් ක්‍රිකට් ඔස්සේ නැරඹීමේ හැකියාව තිබෙනවා.

දිනයේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර ප්‍රථම 20 – 20 තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 11.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 20 – 20 පිටියේ සුපිරි තරු එකිනෙකා සමගින් තරග වදින මෙම තරගය අවාසනාවකට රූපවාහිනිය ඔස්සේ නැරඹීමට හැකියාවක් නෑ.

ඉන් පසුව රාත්‍රී කාලයේදී එනම් ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රී 08 ට පමණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එකිනෙකා සමගින් තරග වදිනවා. ඊයේ පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බැවින් අද පැවැත්වෙන තරගය පිළිබඳවද ප්‍රේක්ෂකයන් දැඩි අවධානයකින් පසුවනු නොවනු මානයි. එසේම භානුක රාජපක්ෂගේ නායකත්වය පිළිබඳවද ප්‍රේක්ෂකයන් විශාල බලාපොරොත්තුවකින් පසුවන අතර තරගය ටෙන් ක්‍රිකට් ඔස්සේ හා වසන්තම් ටීවී ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.

දිනයේ අවසන් තරගය ලෙස එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර ප්‍රථම 20 – 20 තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රී 9.30 ට කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඔයින් මෝගන් , ඩේවිඩ් මාලන් , ජෝස් බට්ලර් , ජේසන් රෝයි , ක්වින්ටන් ඩි කොක් , ඇන්රිත් නොකියා , කාර්ගීසෝ රබාඩා වැනි ප්‍රභල ක්‍රීඩකයන් එකිනෙකා සමගින් තරග වදින මෙම තරගාවලිය ස්ටාර් ස්පෝට්ස් 01 ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here