පාකිස්තාන හිටපු නායකයෙකු හා විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුට කිසිදු විටෙක පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු වීමේ අදහසක් නොමැති බව සදහන්කර සිටියා. එක්දින ජාත්‍යන්තර පිටියේ කඩුලු 500 ක් බිදහෙළා ඇති වේග පන්දු යවන්නා වසීම් අක්‍රම් පමණයි.

(Photo by Stu Forster/Getty Images)

විශේෂයෙන්ම තරග පරාජයන් හමුවේදී පුහුණුකරුට එහි අනවශ්‍ය වගකීම් ලබා ගැනීමට සිදුවීම හා තම පවුලේ සාමාජිකයන් සමගින් වැඩි කාලයක් ගතකිරීමට අවශ්‍ය නිසා ඔහු පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස එක්නොවීමට හේතුන් ලෙස සදහන්කර තිබෙනවා.

2004 වසරේදී පාකිස්තාන ක්‍රිකට් වලින් සමුදුන් අක්‍රම් ඉන්පසුව ජාත්‍යන්තර තරග විස්තර විචාරකයෙකු ලෙස එක්වුණා. ඉන්පසුව 2010 වසරේ සිට වසර කිහිපයයක් ශාරුක් ඛාන්ගේ ආරාධනාවක් අනුව ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසට කටයුතු කළා.
ඉන්පසුව ඔහු පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුල්ටාන් සුල්තාන් හා කරච්චි කිංග්ස් කණ්ඩායම් වල පන්දු යැවීමේ උපදේශකයකු ලෙස කටයුතු කළ අතර ඔහු මේ වනවිට කරච්චි කිංග්ස් කණ්ඩායම සමගින් එක්ව කටයුතු කරනු ලබනවා. ඔහුගෙන් පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරුවෙක් වීමට කැමැත්තක් ඇත්දැයි ඇසූවිට අක්‍රම් ඒ සදහා කිසිදු කැමැත්තක් නොමැති බව සදහන් කර සිටියා.

” පාකිස්තාන කණ්ඩායමේ වේවා ඕනෑම ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙක් වුවහොත් වසරකට දින 200 – 250 ක් පමණ ඒ සදහා සම්පූර්ණයෙන්ම අවධානය යොමුකරන්න ඕනි. මට පවුලේ අයගෙන් ඒ තරම් කාලයක් වෙන් වෙලා ඉන්න බෑ” යනුවෙන් අක්‍රම් වැඩිදුරටත් සදහන් කර සිටියා.
එසේම තරග පරාජයන් හමුවේ පාකිස්තාන ප්‍රේක්ෂකයන් දක්වන හැසිරීම පිළිබඳවද ඔහු කණගාටුවකින් යුතුව අදහස් දක්වා තිබුණා.
” මම මෝඩයෙක් නෙමෙයි. මම දැකලා තියෙනවා මිනිස්සු තරගයක් පරාජයට පත්වුවායින් පසුව හැසිරෙන ආකාරය. ඔවුන් චෝදනා එල්ල කරන්නේ පුහුණුකරුවන්ට. තරග කරන්නේ ක්‍රීඩකයන්. පුහුණුකරුට පුළුවන් සැලසුම් සකස් කරන්න හා අනෙකුත් දේවල් සදහා මග පෙන්වන්න විතරයි. අනෙකුත් දේවල් ක්‍රීඩකයන් සතුයි “ යනුවෙන් අක්‍රම් සදහන්කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here