ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය 10 වනදා අවසන්වූ අතර මීළඟ තරගාවලිය සුපුරුදු පරිදි එළඹෙන වසරේ අප්‍රේල් මාසය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවුරව් ගංගුලි මහතා අදහස් දක්වමින් සදහන්කොට තිබුණි. එසේම ලබන වසරේදී පැවැත්වෙන තරගාවලිය සදහා කණ්ඩායම් 09 ක් හෝ 10 ක් තරග වදිණු ඇති බව ඉන්දීය පුවත්පත් විසින් වාර්තා කොට තිබූ අතර එය එසේ සිදුවුවහොත් අනිවාර්යයෙන්ම ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාසයන් අතර දිනයකදී IPL Mega Auction එකක් පැවැත්වෙනු ඇත.


අවසන් වරට 2018 වසරේ දී IPL Mega Auction එකක් පැවති අතර අයි.පී.එල් තරගාවලියේ නීති හා රෙගුලාසින්ට අනුව එය වසර 03 කට වරක් පැවැත්විය යුතු නමුදු මෙවර තරගාවලිය කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සැලසුම් කොට තිබූ දිනයන්ට පැවැත්වීමට නොහැකිවූ බැවින් මෙලෙස IPL Mega Auction එකක් පැවැත්වීම සිදුනොවනු ඇතැයි පැවැසුවද නව කණ්ඩායමක් මීළග තරගාවලිය සදහා එක්වුවහොත් අනිවාර්යයෙන්ම IPL Mega Auction එකක් පැවැත්වෙනු ඇත.

මෙලෙස පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියක් (Mega Auction ) තුළදී එක් කණ්ඩායමක් සදහා තම කණ්ඩායම තුළ රදවා ගත හැකි උපරිම ක්‍රීඩකයන් සංඛාව වනුයේ 05 කි. එම ක්‍රීඩකයන් රඳවා ගත හැක්කේද යම් යම් කොන්දේසි වලට යටත්ව වේ. එම කොන්දේසීන් අතර ,

  1. ක්‍රීඩක වෙන්දේසියට පෙර (Pre – Auction) කණ්ඩායමක් තුළ රඳවා ගත හැකි උපරිම ක්‍රීඩකයන් ගණන 3කි.
  2. ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායමකට භාවිතා කළ හැකි උපරිම RTM අවස්ථාවන් ගණන 03 කි.
  3. ක්‍රීඩකයන් පස් දෙනා අතර සිටිය හැකි උපරිම විදෙස් ක්‍රීඩකයන් ගණන දෙදෙනෙකි. උපරිම වශයෙන් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් (Capped Players) තිදෙනෙකි. ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයන් (Uncapped Players) දෙදෙනෙකි.

උදාහරණයක් ලෙසට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම තුළ රෝහිත් ශර්මා , හර්දික් පාන්ඩයා හා ජස්ප්‍රිට් බුම්රා රදවා ගත්තේ නම් ඔවුන්ට නැවතත් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු හට RTM අවස්ථාවක් භාවිතා කළ නොහැක. එනම් උදාහරණයක් ලෙසට කෲනල් පාන්ඩයා හට RTM අවස්ථාවක් භාවිතා කළ නොහැකි අතර RTM අවස්ථාවන් උපරිමයෙන් ඉශාන් කිශාන් / සූර්යකුමාර්‍ර් යාදෙව් වැනි ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයන්ට හෝ ට්‍රේන්ට් බෝල්ට් / කිරන් පොලාර්ඩ් වැනි විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකුට භාවිතා කළ හැකිවේ. එසේ නොමැති නම් ඉශාන් කිශාන් / කිරන් පොලාර්ඩ් ලෙසට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකුට හා විදෙස් ක්‍රීඩකයෙකු ලෙසට යොදාගත හැකිය.

(via Getty Images)

RTM කාර්ඩ් යනු කුමක්ද ?
මෙහි අර්ථය නම් Right To Match වේ. එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය තුළදී ලැබෙන උපරිම RTM කාර්ඩ් පත් සංඛාව 03 කි.
උදාහරණයක් ලෙසට යම්කිසි කණ්ඩායමක් ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් තිදෙනකු තම කණ්ඩායම් තුළ රඳවා ගත්තේ නම් ඔවුන් හට ක්‍රීඩක වෙන්දේසියේදී ලැබෙන RTM අවස්ථාවන් ගණන 02 කි.
එසේම තවත් කණ්ඩායමක් ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම තම කණ්ඩායම තුළ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් රඳවා ගත්තේ නම් ඔවුන් හට ක්‍රීඩක වෙන්දේසියේදී ලැබෙන RTM අවස්ථාවන් ගණන 03 කි. එසේම යම් කණ්ඩායමක් කිසිදු ක්‍රීඩකයෙකු තම කණ්ඩායම තුළ රඳවා නොගෙන නිදහස් කළේ නම් ඔවුන්ට හිමිවන RTM අවස්ථාවන් සංඛ්‍යාවද 03 කි.

RTM අවස්ථාවන් භාවිතා කළ හැක්කේ කෙසේද ?

RTM අවස්ථාවන් භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ තම කණ්ඩායමේ සංචිතය තුළ සිට ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කළ ක්‍රීඩකයන් හට පමණක් වේ. උදාහරණයක් ලෙස 2018 වසරේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ෆැෆ් ඩුප්ලෙසීස් තම කණ්ඩායමෙන් නිදහස්කොට තිබුණි. ක්‍රීඩක වෙන්දේසියේදී KXIP කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.6 කට ඩුප්ලෙසීස්ව තම කණ්ඩායම වෙත ලබාගෙන තිබුණද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තමන් සතු RTM අවස්ථාවක් භාවිතා කොට එම මුදලටම ඩුප්ලෙසීස් නැවතත් තම කණ්ඩායම වෙත ලබා ගැනීමට සමත්විය.

ක්‍රීඩක වෙන්දේසියට පෙර තම කණ්ඩායම තුළ රදවා ගන්නා ක්‍රීඩකයන් හට ගෙවිය යුතු උපරිම මිළක්ද නියම කොට තිබේ. යම් කණ්ඩායමක් ක්‍රීඩකයන් තිදෙනෙකු වෙන්දේසියට පෙර රදවා ගන්නේ නම් එක් ක්‍රීඩකයෙකු සදහා ඉන්දීය රුපියල් කෝටි 15 ක්ද අනෙක් ක්‍රීඩකයා සඳහා ඉන්දීය රුපියල් කෝටි 11 ක් හා තෙවන ක්‍රීඩකයා සදහා ඉන්දීය රුපියල් කෝටි 7 ක්ද ගෙවිය යුතුවේ.
එසේම යම් කණ්ඩායමක් ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් රඳවා ගන්නේ නම් එක් ක්‍රීඩකයෙකු සඳහා ඉන්දීය රුපියල් කෝටි 12.5 ක් ද අනෙක් ක්‍රීඩකයා සඳහා ඉන්දීය රුපියල් කෝටි 8.5 ක්ද ගෙවිය යුතු වේ. එසේම කිසියම් කණ්ඩායමක් එක් ක්‍රීඩකයෙකු පමණක් රඳවා ගන්නේ නම් ඔහුට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදලක් ගෙවිය යුතු වේ. ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකු හට ගෙවිය යුතු මුදල වනුයේ ඉන්දීය රුපියල් කෝටි තුනකි.

(මෙම සියලු අගයන් 2018 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසිය අනුව වේ.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here