2006 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ පස්වන හා අවසන් එක්දින තරගයට පෙර දිනයේ මෙම සිදුවීම සිදුවිය. තරගාවලිය ඒ වනවිට දෙපිලම 2 – 2 ක් ලෙස සම තත්වයේ පසුවූ අතර පස්වන හා අවසන් එක්දින තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබුණි.
එවකට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය හොඹවනු ලැබුවේ ග්‍රැහැම් ස්මිත් වන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා වේ
.

තීරණාත්මක පස්වන හා අවසන් එක්දින තරගයට පෙර මිකී ආතර් හා නායක ග්‍රැහැම් ස්මිත් එක්ව ද.අප්‍රිකානු සුපරි පිතිකරු හර්ෂල් ගිබ්ස් අවසන් එක්දින තරගයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබුණි.

ඒ අනුව තීරණාත්මක අවසන් එක්දින තරගය හර්ෂල් ගිබ්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට තරම් දකුණු අප්‍රිකානුවන් දැඩි තීන්දුවක් ගෙන අවසන්‍ ය. මෙය තරගයට පෙර පැවති කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශයට පත් කළ අතර මෙම තීරණය හර්ෂල් ගිබ්ස්ව සම්පූර්ණයෙන්ම අව්ල් කිරීමට හේතුවක් විය.

ඒ පිළිබඳව ඔහුගේ ජීවිත කතාව අළලා රචනා කළ To the Point: The No-Holds-Barred නම් කෘතියෙහි මේ පිළිබඳව සදහන් කරමින් පවසා ඇත්තේ , පසුදා පැවැත්වීමට නියමිත තීරණාත්මක එක්දින තරගයෙන් ඉවත් කළ බවට දැනුම් දුන් පසු සම්පූර්ණයෙන්ම තමාගේ මානසිකව මට්ටම පහළට ඇදවැටුණු බවත් ඒ හේතුවෙන් යම් මානසික සහනයක් අපේක්ෂාවෙන් ඔහුගේ මිතුරන් කිහිපදෙනකු සමගින් එක්ව ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටි හෝටලයේ ඇති තැබෑරුමට ගොස් අලුයම එක දක්වා මත්පැන් පානය කළ බව‍යි. ඉන්පසුව ඔහුගේ මානසික තත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරුණු බවත්‍ ඔහු මෙහි සදහන් කොට තිබේ.

ඒ කෙසේවෙතත් තමාව පුදුමයට පත් කරමින් පසුදා පැවති තරගයට ඔහුගේ නම ඇතුළත්ව තිබූ අතර පිතිකරණයේ යෙදීමට ක්‍රීඩා පිටියට පැමිණෙන විටත් අධිකව මත්පැන් පානය කිරීම නිසා දැඩි හිසේ කැක්කුමකින් පෙළුණු බව ඔහු තවදුරටත් මෙහි විස්තර කොට ඇත.

මෙම සිදුවීම පිළිබඳව ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකවූ මයික් හසී මෙලෙස සදහන් කොට තිබුණි.

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටියේ එකම හෝටලයක. එදා කණ්ඩායම් දෙකම තරමක් වේලාසනින් රාත්‍රී ආහාරය ලබා ගැනීමට යනකොට ගිබ්ස් තැබෑරුමේ සිටිනවා මම දැක්කා. රාත්‍රී ආහාරයත් ලබාගෙන නැවතත් පැය දෙකකින් පමණ ආපසු එනකොටත් විශ්වාස කරන්න ගිබ්ස් එම ස්ථනයේම ඉන්නවා. එතකොට වෙලාව රෑ 10 ට විතර ඇති. පස්සෙ මම තවත් පැයකින් දෙකකින් විතර නිදාගන්න ලෑස්ති වෙලා පහළ බලනකොට ඒත් ගිබ්ස් තැබෑරුමේ සිටිනවා. මම ඒ මොහොතේදීම හිතා ගත්තා ගිබ්ස් කියන්නේ හෙට තරගයේදී අපට තියෙන පහසුම කඩුල්ල තමයි කියලා. නමුත් ඒ සියලුම බලාපොරොත්තු සුනු විසුණු කරලා දමන්න ඔහු සමත් වුණා.
එසේම තවදුරටත් අදහස් දක්වමින් මයික් හසී සදහන්කොට තිබුණේ එම තරගය දිවා තරගයක් ලෙස පැවතියද දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන වරට පන්දුවට පහරදීම හේතුවෙන් ගිබ්ස් හට යම් වාසියක් අත්වුවද ඔවුන් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදුන්නේ නම් ගිබ්ස් කුමක් කරනු ඇද්දැයි තමාට සිතාගත නොහැකි බවයි.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් පොලොක් ආබාධයකට ලක්වීම හේතුවෙන් හර්ෂල් ගිබ්ස් ඉවත්කිරීමට ගත් තීරණය වෙනස් කිරීමට මිකී ආතර්ට හා ග්‍රැහැම් ස්මිත් හට සිදුවිය. එසේ වුවද පෙරදා රාත්‍රියේ ගිබ්ස්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමෙන් කතා කළ මිකී තමාට මෙම තරගයේදී දඬුවමක් ලබාදීමට නොහැකි වුවද ඊළග තරගාවලියේදී අනිවාර්යයෙන්ම ගිබ්ස් හට දඩුවමක් ලබාදෙන බවට ගිබ්ස් ඉදිරියේම සපථ කළේය.

නමුත් අවසානයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ පිතිහරඹයක නිරත්වන්නට සමත්වූ හර්ෂල් ගිබ්ස් පන්දු 111 කදී හතරේ පහර 21 ක් හා හයේ පහර 7 ක්ද සමගින් ලකුණු 175 ක් වාර්තා කරමින් ලකුණු 438 ක් හඹාගොස් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඓතිහාසික තරග ජයග්‍රහණයක් දීමට හර්ෂල් ගිබ්ස් පෙරමුණ ගෙන කටයුතු කරන ලදි.

එදා තරගයට පෙර හර්ෂල් ගිබ්ස්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් පලකළ ද.අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මකායා නිට්නි සදහන්කොට තිබුණේ , හොදම දෙය තමයි ඔහු මත්පැන් පානය කරන ලද්දේ හෝටලය තුළම ඇති තැබෑරුම තුළමයි. එය හෝටලයෙන් එළියේදී සිදුවුවානම් තත්වය වඩාත් බරපතළ වෙන්න තිබුණා. ඒ කොහොම වුවත් ඔහු බරපතළ විදියට මත්පැන් නම් පානය කළා යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here