“කෞෂාල්ගෙ එස්.එස්.සි ප්‍රහාරය”

ඒ 2016 වර්ෂයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරයයි.

පල්ලකැලේදි මෙන්ඩිස්ගේ බර අවිය ක්‍රියාත්මක වීම හා, ගාල්ලේදී දිල්රුවන්ගෙ දග පන්දුව ඉදිරියේ අසරණ වෙමින් තරගාවලියේ මුල් තරග දෙකම පරාජයට පත්වීමත් සමග ටෙස්ට් තරගාවලියද පරාජයට පත්ව සිටි ඕස්ට්‍රේලියානුවන් එස්. එස් සි හි අවසන් ටෙස්ට් තරගය සදහා පිවිසෙන්නෙ තමන්ගේ නම්බුව ආරක්ෂා කර ගනිමින් යම්කිසි හෝ ගෞරවනීය තරගමාලා අවසානයක් කරා ගමන් කිරීමටය.

තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවේ විශාල ලකුණු පුවරුවක් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් විසින් ශ්‍රි ලංකා ඉනිමට එක් කරාවි යැයි බලාපොරොත්තුවෙනි.

පළමු තරග ද්විත්වයේදී මෙන්ම තෙවැනි ටෙස්ට් තරගයේද ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගියේ ඔවුන් දෙදෙනාගේ ස්ථානය පිළිබඳවද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

ඉනිමේ මුල් කඩුලු 5ක් ලකුණු 26 ක් තුල දැවීගියත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නැංගුරමවූ උපනායක දිනේෂ් චන්දිමාල් නවක ක්‍රීඩක ධනංජය සිල්වාද කැටුවගෙන ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් දක්වා ශ්‍රි ලංකා ඉනිම රැගෙන ගියේ ධනංජය ද සිල්වාගේ මංගල ශතකයද සමගිනි.එසේම දිනේෂ් චන්දිමාල්ද සිය වගකීම මැනවින් ඉෂ්ඨ කරමින් ශතකයක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රි ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවී ලකුණු 355 ක් රැස්කරන ලදි.

එයට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 24 ක වාසියක් සමගින් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 379 එක් කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේදී පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වා ඇගිල්ලෙ අබාධයකට ලක්වන්නේ නැවත පිතිකරනයට පැමිනේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි.

ඔහුගේ එක් අතක මැහුම් 06ක් පමණ දමා තිබූ අතර එයින්ම ආබාධය කොතරම්ද යන්න තේරුම් ගත හැකිවිය.

ලකුණු 24 ක් පිටුපසින් සිට ශ්‍රි ලංකා දෙවන ඉනිම ආරම්භ කිරීමට ආරම්භක පිතිකරුවන් ලෙස පැමිනෙන්නේ ඩිල්රුවන් පෙරේරා සමගින් දිමුත් කරුණාරත්නය.

පළමු පන්දුවාරයේදි හතර පහරවල් දෙකක් ස්ටාක්ට එරෙහිව ලබාගන්නා ඩිල්රුවන් ස්ටාක්ගේ ප්‍රථම පන්දුවාරයේදීම දැවීයන්නේ තෙවැනි දිනයේ අවසානයද ලංව තිබෙන අවස්ථාවකය..

සුවිශේෂී කරුණ නම් ඇගිල්ලේ ආබාධයකට ලක්ව සිටි කෞෂාල් සිල්වා විසින් තරගයේ තෙවැනි දිනයේදී පුහුණු දැල් තුල පිතිකරණ පුහුණුවීම් වල නිරතවීමයි. ඒ ශ්‍රී ලංකා දෙවෙනි ඉනීමේදි පන්දුවට පහරදීමේ අරමුණෙනි.
ශ්‍රි ලංකා කන්ඩායමේ එවකට පුහුණුකරු විසින් කෞෂාල්ගෙන් දෙතුන් අවස්ථාවක්ම විමසා සිටියේ මෙලෙස අබාධය තිබියදිත් ඔබට නිසි ආකාරව පන්දුවට පහර දීමට පුලුවැන්දැයි යන්නයි.

ඒ මොහොතේදී කෞෂාල් විසින් පවසා ඇත්තේ කෙසේ හෝ තමන්ට පන්දුවට පහර දීමට අවශ්‍ය බවත් පන්දුවට පහරදී වැඩි ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට ලබාදීමට තමාගේ අරමුණ බවත්‍ ය.

තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිනියේ කෞෂාල් සමගින් දිමුත් කරුණාරත්නය

ඇගිල්ලේ ආබාධය නොතකා කණ්ඩායම වෙනුවෙන් අවශ්‍යම වේලාවේදි සටන්කාමි ශතකයක් රැස් කරගැනීමට කෞෂාල් සමත් වන්නේ මිචෙල් ස්ටාක්ගේ පන්දු ඉදිරියේ මෙන්ම ලයන් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු දග පන්දු බළ ඇණිය ඉදිරියේය.

කෞෂාල් සිල්වාගෙ ඒ සටන්කාමි ශතක ඉනිමට 4 පහර 10ක් අන්තර්ගත විය.

ඇගිල්ලේ ආබාධයද සමගින් ලබාගත් එම ශතකය මහේල ජයවර්ධන ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් ඉතා ඉහළින් වර්ණනා කොට තිබුණි.

ශ්‍රි ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 347ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 324 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාවට ලබාගත් හැකි වූයෙ 160ක් පමණි.

ඕස්ට්‍රේලියානු දෙවෙනි ඉනිම සුනු විසුණු කළ රංගන හේරත් කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය.

ශ්‍රි ලංකා කණඩායම විසින් 2016 පැවති ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට සමත් විය. කුසල් මෙන්ඩිස් , ධනංජය ද සිල්වා , දිනේෂ් චන්දිමාල් හා කෞෂාල් සිල්වාගෙ විශිෂ්ඨ ශතක ඉනිම් එම තරගාවලියේ කැපි පෙනෙන ඉනීම් බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here