ප්‍රථම වතාවට පැවැති ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින්. මෙම ටෙස්ට් තරගය අවසානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉන්දීය නායක විරාට් කෝලි සදහන් කර තිබුණේ එක් ටෙස්ට් තරගයක් පමණක් පවත්වා ශූරයන් තේරීම ප්‍රායෝගික නොවන බවයි.

(Photo by Alex Davidson/Getty Images)

ඇත්තටම හදවතට එකගව කිව්වොත් එක් ටෙස්ට් තරගයක් පමණක් පවත්වලා ලොව හොදම කණ්ඩායම කවුද කියලා තීරණය කරන එකට නම් මම එකග නෑ” යනුවෙන් කෝලි සදහන් කර සිටියා.
” මෙය ටෙස්ට් තරගාවලියක් වූවානම් කිසියම් කණ්ඩායමකට පළමු තරගය අසාර්ථක වුවත් දෙවන තරගයේ සිට නැවතත් දස්කම් අතරට එන්න අවස්ථාවක් තිබෙනවා. දින දෙකක් පමණ ඉතාම හොද ක්‍රීඩාවක නිරත වෙලා එක් දිනයක් අසාර්ථකවූ සැනින් කණ්ඩායම හොද නෑ කියන දෙයක් මෙමගින් පෙන්නුම් කරන්නේ. එයට මම එකග නෑ. මට එය විශ්වාස කරන්නත් බෑ”
යනුවෙන් ඔහු සදහන් කර සිටියා.
මීට පෙර ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශ්‍රාස්ති මෙන්ම හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ද ටෙස්ට් තරග 3 ක් පැවැත්විය යුතු බවට අදහස් දක්වා තිබුණා.

(Photo by Nathan Stirk-ICC/ICC via Getty Images)

” ඕනෑම කණ්ඩායමක නැගිටීම් වගේම පහතට වැටීම් සිදුවන එක සාමාන්‍ය දෙයක්. ටෙස්ට් තරගාවලියක් ලෙසට මෙය පැවතුනා නම් කණ්ඩායම් දෙකටම නැවතත් තරගාවලියට එකතුවීමේ ඉඩකඩ ලැබෙනවා. ඉදිරි කාලයේදී හෝ එලෙස තරගාවලියක් ආකාරයට මෙය පැවැත්වෙනු ඇති බවට මම විශ්වාස කරනවා. කොහොම වුවත් මෙම ලැබුණු ප්‍රතිඵලය ගැන මම විශාල වශයෙන් තැකීමකට ලක් කරන්නේ නෑ. මෙම තරගය පරාජයට පත්වුවත් අපි අවසන් වසර 3 – 4 කාලය තුළ ඉතා උසස් අන්දමින් ක්‍රීඩා කරලා තියෙනවා” යනුවෙන් කෝලි වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here