සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 51 කින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියඑක් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සමත්විය.
සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කරන ලදී. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වන ඩේවිඩ් වෝනර් හා නායක ෆින්ච් පළමු කඩුල්ල සඳහා සුපුරුදු පරිදි ඉතා හොඳ ආරම්භයක් ලබාදෙමින් ලකුණු 142 ක් එක්කිරීමට සමත්වුහ. ලකුණු 60 ක් ලබාසිටි ෆින්ච් දවාගැනීමට මොහොමඩ් ශම්මි සමත්වූ අතර ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 153 ක් වනවිට ඩේවිඩ් වෝනර් දුවද්දී දවාගැනීමට ශ්‍රේයස් අයියර් සමත්විය. විශිෂ්ඨ ඉනිමක් දියත් කළ වෝනර් පන්දු 77 කදී ලකුණු 83 ක් ලබා ගන්නා ලදි.

ඉන් අනතුරුව පිටියට එක්වූ ස්ටීවී ස්මිත් හා මානස් ලබුශේන් වේගවත් ලකුණු 146 ක් එක්කිරීමට සමත්වූ අතර තරගාවලිය තුළ පිට පිට ලබාගත් දෙවන ශතකය වාර්තා කරමින් පන්දු හැට දෙකක් තුළ ශතකය සම්පූර්ණ කිරීමට ස්ටීවී ස්මිත් සමත්විය. මෙම ශතකයත් සමගින් ස්මිත් වාර්තා අතරට එක්වූයේ නොකඩවා ඉනීම් තුනකදී ඉන්දියාවට එරෙහිව ශතක 03 ක් ලබාගත් සිව්වන ක්‍රීඩකයා ලෙසටය.

ඔහුට අනගි සහයක් ලබාදුන් මානස් ලබුශේන් ලකුණු 70 ක් ලබාගත් අතර වේගවත් ඉනිමක් දියත් කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 29 කදී නොදැවී ලකුණු 63 ක් ලබාගත්තේ හතරේ පහර 04 ක් හා හයේ පහර 04 ක් ඊට ඇතුළත් කරමිනි.

මේ අනුව මෙම තරගය ඉතිහාසයට එක්වූයේ එක්දින ජාත්‍යන්තර තරගයක පළමු පිතිකරුවන් පස්දෙනා ලකුණු 60 සීමාව ඉක්මවූ පළමු අවස්ථව ලෙසටය. නියමිත පන්දුවාර 50 අවසානයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04ක් බිදවැටී ලකුණු 389 ක් ලබා ගැනීමට සමත්විය. මෙය ඉන්දියානු කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමකට එක්දින පිටියේ ලබාදුන් තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටද වාර්තා විය. එසේම ජස්ප්‍රිට් බුම්රාගේ තෙවන දුර්වලතම පන්දු යැවීම මෙම තරගයේදී සටහන්වූයේ ඔහුගේ පන්දුවාර 10 තුළදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 79 ක් ලබා ගැනීමත් සමගය.

ලකුණු 390 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල ලකුණු 60 ක් තුළදී දවා ගැනීමට ජෝස් හේසල්වුඩ් සමගින් පැට් කමින්ස් සමත්විය. ඉන් අනතුරුව තෙවන කඩුල්ල සඳහා නායක විරාත් කෝලි හා ශ්‍රේයස් අයියර් ලකුණු 90ක් එක්කිරීමට සමත්වුහ. ලකුණු 38 ක් ලබාගත් අයියර් දවාගැනීමට මොයිසස් හෙන්රිකස් සමත්විය. අනතුරුව පිටියට එක්වූ උපනායක KL රාහුල් සමගින් ලකුණු 72 ක් එක්කිරීමට විරාත් කෝලි සමත්වූ අතර මේ අතරවාරයේදී විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 22 000 සිමාව පසුකිරීමට සමත්විය.

නායක කෝලි ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 89 ක් ලබාගත් අතර උපනායක KL රාහුල් 76 ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු 03 ක්ද ජෝස් හේසල්වුඩ් හා ඇඩම් සැම්පා කඩුලු 02 බැගින් බිද හෙළීමට සමත්විය. නියමිත පන්දුවාර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 51 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය. මෙම පරාජය සටහන් වූයේ ඉන්දීය කණ්ඩායම නොකඩවා ජාත්‍යන්තර පිටියේ ලද හත්වන පරාජය ලෙසටය. තරගයේ වීරයා ලෙස ස්ටීවී ස්මිත් නම් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here