ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන 26 වන නායකයා බවට ඇලෙක්ස් කේරී පත්වීමට නියමිතව තිබෙනවා. අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු එක්දින තරගයට ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් දණහිසේ ආබාධයක් හේතුවෙන් සහභාගි නොවන අතර ඔහුගේ ආබාධයේ තත්වය අනුව දෙවන හා තෙවන තරගයට සහභාගි වීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය උප නායක පැට් කමින්ස් ද බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේන් ඉවත්වීන හේතුවෙන් මෙලෙස නායකත්වය ඇලෙක්ස් කේරී හට හිමිව තිබෙනවා.
නායකත්වයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් 29 හැවිරිදි ඇලෙක්ස් කේරී සදහන් කර තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහු ලද විශාල භාග්‍යයක් බවයි.

” ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්වීම මම ලද විශාල ගෞරවයක් හා භාග්‍යයක් කොට සළකනවා. ආරෝන් ෆින්ච් තමයි අපේ කණ්ඩායමේ නායකයා. ඔහු නැවතත් සම්පූර්ණයෙන්ම සුවවී පැමිණෙන තෙක් මට නායකත්වයේ වගකීම් ඉටු කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් කේරී සදහන් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු A කණ්ඩායම , දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඇඩ්ලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායකත්වය මීට පෙර ඇලෙක්ස් කෙරී විසින් හොඹවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here