එංගලන්තය පසුගිය දශකය තුළ ලෝකයේ ඉහළම දක්ෂතා දැක්වූ ටෙස්ට් කණ්ඩායම්වලින් එකක් බව සැවොම දන්න කරුණක්. තම රටේදී මෙන්ම විදෙස් රටවලදීද අඛණ්ඩව දස්කම් දැක්වීමට ඔවුන් සමත් වුණා. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේදීද එංගලන්තය සිව්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් නිසාවෙන්මයි.

විශේෂයෙන් එංගලන්තයට සුපුරුදු සිය මව්බිමේ පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරක කණ්ඩායමකට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව ඉතාම අල්පය. පසුගිය දශකයක කාලය තුළ එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලීන් අතරින් එංගලන්තය පරාජයට පත්කර තරගාවලි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකිව ඇත්තේ රටවල් 03 කට පමණි.

එම කණ්ඩායම් තුන අතරට එකතු වීමට 2014 වසරේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමටද හැකි විය.
පසුගිය දශකය තුළ එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කර ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර ගෙන ඇති එකම ආසියාතික රට වන්නේද ශ්‍රී ලංකාවයි.

දැන් අප පසුගිය දස වසරක කාලය තුළ ටෙස්ට් තරගාවලියකදී  එංගලන්තය පරාජය කළ කණ්ඩායම් තුන බලමු.

  1. නවසීලන්තය – 2021

පසුගියදා නිමාවූ එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

මෙම තරගාවලිය ආරම්භවීමට පෙර එංගලන්ත කණ්ඩායමේ නායක රූට් පළමු ටෙස්ට් තරගයට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේ ගිම්හානයේ පැවැත්වෙන ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීම ඔවුන්ට අළු බඳුනට සූදානම් වීමට ඉවහල් වන බවයි.  අවාසනාවකට මෙන් එංගලන්තය ඔවුන්ගේ ගිම්හානයේ පැවැති පළමු තරගවලියම පරාජයට පත් විය.

ලෝඩ්ස්හි පැවති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමේ අවස්ථාව එංගලන්තයට තිබුණි. කෙසේ වෙතත්, ඔවුන් ආරක්ෂක ප්‍රවේශයක් තෝරාගත් නිසා එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එම තරගාවලියේ දෙවැනි තරගය ටොම් ලේතම්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ නවසීලන්තය දින හතරක් ඇතුළත එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් තරග 02 කින් යුත් තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට සමත්විය.

  1. ශ්‍රී ලංකාව – 2014

පසුගිය වසර දහය තුළ එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකින් එංගලන්තය පරාජය කළ එකම ආසියානු කණ්ඩායම ශ්‍රී ලංකාවයි.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අවසන් වූයේ එංගලන්තයට ජයග්‍රහණය කිරීමට තිබූ ඉතා ආසන්න අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින්ය. දෙවැනි තරගය ඉතා හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 එම තරගය ජයගනිමින් තරගාවලියද 1-0 ලෙස ජයගනිමින් තරගාවලිය ජයග්‍රාහීව අවසන් කළහ.

  1. දකුණු අප්‍රිකාව – 2012

පසුගිය වසර දහය තුළ එංගලන්තයේදී තරග 03 කින් යුත් ටෙස්ට් තරගාවලියකදී එංගලන්තය පරාජය කළ එකම කණ්ඩායම දකුණු අප්‍රිකාවයි.

මෙම තරගාවලියේ ඕවල්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි විය. එම තරගයේ පළමු ඉනිමේදී කඩුලු දෙකකට ලකුණු 637ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. එහිදී හෂීම් අම්ලා ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ අතර, ග්‍රැහැම් ස්මිත් සහ ජැක් කලිස් ශතක රැස් කළහ.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් තරගය ලකුණු 51කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. එම තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්තයට ලකුණු 346 ඉලක්කයක් හිමි වුවත් එංගලන්තයට දෙවැනි ඉනිමේදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 294ක් පමණි. වර්නන් ෆිලැන්ඩර් එහිදී කඩුලු 05ක් බිඳ හෙළීය. ඒ අනුව එම තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here