සචින්ගේ ජරිසි අංක මාරුව හා බෙජන් දරුවල්ලා

0
303
sachin Tendulkar Jersey

ඉන්දීය කණ්ඩායමේ ජරිසි අංක 10 හි හිමිකම ඉන්දීය ප්‍රේක්ෂකයන්ට අනුව සදාකාලිකවම හිමිවිය යුතු වන්නේ ඔවුන් දේවත්වයෙන් පිදුම් ලබන සචින් තෙන්දුල්කාර් හටය.


මෙහි උච්චතම අවස්ථාව බවට පත්වූයේ ශ්‍රාඩුල් තාකූර් සිය මංගල ජාත්‍යන්තර තරගයේදී අංක 10 සහිත ජර්සියක් පැළද ක්‍රීඩා කිරීම නිසා මුම්බායි ප්‍රේක්ෂකයන් උරණවී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා එල්ල කිරීමත් සමගමයි. ඒ අනුව සචින් දිගු කලක් ක්‍රීඩා කළ අංක 10 ජර්සිය නැවතත් භාවිතා නොකිරීමේ යෝජනාවාක් පවා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමුවිය.


නමුත් ,
වරෙක සචින් තෙන්දුල්කාර් පවා ඔහුගේ අංක 10 සදහන් ජර්සිය ප්‍රතික්ෂේප කොට අංක 33 සදහන් ජරිසියකින් ක්‍රීඩා කිරීමට තීරණය කොට තිබුණි.සචින් 2000 වසරට පෙර ක්‍රීඩා කරනු ලැබුවේ අංක 99 සදහන් ජරිසියකිනි. ඉන් පසුව ඔහු අංක 10 සදහන් ජරිසිය වෙත මාරුවීම සිදුවිය. මීට හේතුවක් ලෙස ඔහු සදහන් කර සිටියේ සිය වාසගමේ අකුරු 10ක් තිබීම හේතුවෙන් (Thendulkar ) මෙලෙස අංක 10 වෙත මාරුවීමට තීරණය කළ බවය.


එම ජරිසි අංක හුවමාරුව සචින්හට කෙතරම් වාසනාවක් කැදෙවීද කිවහොත් ඔහු 2000 – 04 කාලය තුළ ලකුණු 5000ක ප්‍රමාණයක් රැස් කරනු ලැබුවේ පිතිකරණ සාමාන්‍ය 50ක පමණ අගයක රදවාගෙනය.


නමුත් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ග්‍රේග් චැපල් මහතාපත්වීමත් සමග ඉන්දීය කණ්ඩායමේ ඇතිවූ අර්බුදකාරී තත්වය හා සචින්ගේ වැළමිටෙහි සිදුකළ ශල්‍යකර්මය හේතුවෙන් ඔහුට සුපුරුදු ලෙස දස්කම් දැක්වීමට නොහැකි විය.මේ අවස්ථාවේදී සචින්ගේ ක්‍රිකට් ගමන්මගෙහි විශාලතම ශක්තියවූ සචින්ගේ සොහොයුරා වන අජිත් තෙන්දුල්කාර් ඉන්දීය ප්‍රසිද්ධ අංක ගණිත ජ්‍යොතිෂවේදියෙකු වන බෙජන් දරුවල්ලා හමුවී ඔහුගේ පිහිට පැතීය.


මේ අනුව එම අංක ගණිත ජෝතිෂ්‍යවේදියාගේ උපදෙස් මත සචින් සිය ජරිසි අංකය අංක 10 සිට අංක 33ට මාරු කිරීමට කටයුතු කරන ලදි.ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එළඹුණි.


මෙහිදී සචින් අංක 33 සහිත නව ජරිසියෙන් සැරසී තරගකළ අතර ඒ අනුව ඔහුට තිබූ සියලු දෝෂ නිවාරණය කරමින් ප්‍රථම තරගයේදීම ලකුණු 93ක් හා ඉන් පසු තරගයේදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත්විය.


නමුත් සචින්ගේ අවාසනාව ඉන් අවසන් නොවුණි.ඉන් පසුව අංක 33 සහිත ජරිසිය පැළද ඔහු ක්‍රීඩා කළ තරග වලදී ඔහු රැස් කරගනු ලැබුවේ පිළිවෙළින් ලකුණු 2 , 11 , 19 , 39 , 2 , 2 , 2 , 30 ක් පමණි.


ඉන් අනතුරුව සචින් 2006 වසරේ පෙබරවාරි මසදී පාකිස්තානය සමගින් තරඟ වැදුණු අතර එහිදී ඔහු අංක 33 සහිත ජර්සිය වෙනුවට අංක 10 සහිත සුපුරුදු ජර්සියෙන් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු ලකුණු 100ක් ලබා ගැනීමට සමත්විය. අනතුරුව අංක 33 ජරිසිය නැවතත් සචින් භාවිතා කිරීමක් සිදු නොවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here